අපගේ දැක්ම

ජනතා හිතවාදී පරිපාලනයක් තුළින් වි‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ශිෂ්ඨතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බවට පත් වීම

අපගේ මෙහෙවර

යහපත් පරිපාලනය සඳහා නවීන තාක්ෂණය යොදා ගනිමින් රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම‍‍, සම්පත් කළමණාකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුක්ත කාර්යක්ෂම, තිරසාර හා සැළසුම්ගත ඵලද්‍රයී සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජන ජීවිතය නංවාලීම

හැඳින්වීම හා ඓතිහාසික පසුබිම

මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස උතුරින් නාවුල, ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වලින් ද, නැගෙනහිර විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද, දකුණ මහනුවර දිස්ත්‍රික් මායිමෙන් හා බටහිරින් අඹන්ගඟ කෝරලේ හා රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලින් ද මායිම්ව පිහිටා ඇත. 

ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඓතිහාසික මෙන්ම සෞන්දර්යාත්මක වටිනාකමින් යුක්ත ප්‍රදේශයක් වේ. අඩි 4000-5000 අතර උසකින් යුක්ත මනරම් වූ නකල්ස් කඳුවැටිය ද මායිම් වූ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් කිහිපයක්ම පිහිටා ඇත.

ඊසාන දිග මෝසම් සුළඟින් වර්ෂාව ලැබෙන මෙම ප්‍රදේශය කාලගුණික කලාප දෙකකින් සමන්විතවේ. බටහිර කලාපය තෙත් බවකින් යුක්ත වන අතර උතුරු නැගෙනහිර හා දකුණු ප්‍රදේශය තරමක් වියළි දේශගුණයක් දක්නට ලැබේ. බටහිර කලාපයට අඟල් 60-70 ක් පමණ වර්ෂාපතනයක් ලැබෙන අතර උතුරු නැගෙනහිර හා දකුණු ප්‍රදේශවලට අඟල් 35-40 ක් පමණ වර්ෂාපතනයක් ලැබේ.

ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නකල්ස් වන රක්ෂිතය නිසා ප්‍රදේශය ස්වභාවික වශයෙන් වැදගත් වේ. නකල්ස් කඳුවැටිය නිරතුරුවම මීදුමෙන් වැසී පවතින බැවින් දුමින් බර ව යන අරුතින් දුම්බර කඳුවැටිය ලෙසද හැඳින්වේ. ශ්‍රී ලංකාවේ සියලුම වනාන්තර ලක්ෂණ මෙම රක්ෂිතය තුළ දැකිය හැකිය. 1981 ඔක්තෝබර් මස 10 වැනි දින සිට මෙම ප්‍රදේශය සොබා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මේ ලෝක උරුමයක් බවට වර්තමානයේ පත්ව ඇත.

රිවස්ටන් කඳු මුදුන ඇතුලත් ප්‍රදේශයද පාරිසරික වැදගත්කමකින් යුතු සංචාරකයින්ගේ ආකර්ශනයට ලක් වූ ප්‍රදේශයකි. කළුගඟ හත්තොට අමුණ දේවාල දෙණිය දාස්ගිරිය වැනි ග්‍රාම නිලධාරි වසම් තුළ වටිනා මැණික් සම්පත් පිහිටා තිබීමද විශේෂිතය. කොට්ඨාශය පුරා ජල මාර්ග දෙකක් පවතින අතර කළු ගඟ ඉන් ප්‍රධාන වේ. වර්ෂය පුරාම ගලා බසින ජල පද්ධතියක් මෙම ප්‍රදේශය දක්නට ලැබීමද විශේෂ ලක්ෂණයකි. 2016 වර්ෂය තුළ සිට මෙම ගංගාව හරස් කළ කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

ඓතිහාසික වශයෙන් වැදගත් වන මෙම කොට්ඨාශය බුද්ධාගමනයෙන් පසු ලංකාවේ ඉතිරි වූ යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් කොටසක් පදිංචිව විසූ බව රාජාවලියේ සදහන්වේ. කිණිගම ප්‍රදේශය යක්ෂ ගෝත්‍රිකයන් බෙහෙවින් වාසය කළ ප්‍රදේශයක් බව පර්යේෂණ වලින් අනාවරණය වේ. යක්ෂ ගෝත්‍රිකයන් විජය කුමරු අතින් සමූලඝාතන වූ බැවින් මෙම ප්‍රදේශය කිණිගම නම් වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ.

තවද ලග්ගල ප්‍රදේශයේ රාවණා අඩවිය ලෙස එහි ජනතාවගේ හදවත් තුළ මුල්බැස ඇතැයි පැවසීම සාධාරණය. රාම රාවණ සටනේ එක් පියවරක් රණමුරේ දී සිදුවූ බවත් ලකේ ගල අසල රාවණාගේ මාලිගයක් තිබුණු බවත් අද දක්වාම ප්‍රදේශයේ මාලිගාතැන්න නමින් හඳුන්වන බවත් ජනශෘතිය අනුව කිව හැකි ය. රාම රාවණා සටනේදී රාම කුමරුන්ගේ පහරින් ලග්ගල පර්වතය කැබලි තුනකට කැඩී බිඳී ගිය බවද ජනප්‍රවාදයේ කියවේ. මේ කරුණු අනුව ලග්ගල හෙලදිව ආදිතම රාජධානියක් ලෙස පිළිගැනීම සාධාරණ ය.

ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කලාප තුනකින් සමන්විත වන අතර ග්‍රාම නිලධාරි වසම් 37 කින් ද, වර්ග කිලෝමීටර් 375 කින් යුක්ත වන අතර ජනගහනය 16333කි. ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන මෙම ප්‍රදේශයේ ජනයා සාම්ප්‍රදායික ගතිපැ‍වතුම් වලට හුරුව සිටින අතර විශේෂයෙන් පැරණි ඇදහිලි හා විශ්වාසයන්ට ප්‍රමුඛතාවක් ලබා දෙයි. ඓතිහාසික මෙන්ම සෞන්දර්යාත්මක ලක්ෂණයන්ට අනුව ලග්ගල ප්‍රදේශය වර්තමානයේ ආර්ථික සමාජීය සංස්කෘතික හා අධ්‍යාපනික වශයෙන් විශාල දියුණුවක් ලබා ඇත.

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියූ ලග්ගල ග්‍රාම නිලධාරී වසම් 11ක් කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් අහිමි විය. 2018 මුල් භාගය වන විට අදාළ වසම් 11 හි පදිංචි ප්‍රජාව එක්දහස් පන්සියයකට අධික පිරිසක් ලග්ගල පැරණි අකරහැඩිය කැලෑබද ප්‍රදේශය නව ජනපදයක් ලෙසින් සංවර්ධනය කර මහවැලි ව්‍යාපාරය යටතේ පදිංචි කරන ලදී. නව ලග්ගල හෙවත් දකුණු ඉවුර ලෙසින් ස්ථාපිත නව නගරය තුල සියලු රාජ්‍ය ආයතන ද පෙර තිබූ තත්ත්වයට වඩා වැඩි පහසුකම් යටතේ පවත්වාගෙන යනු ලබයි. කවද මොරගකන්ද ව්‍යාපෘතිය හේතුවෙන් නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉඩම් අහිමි වූ පවුල් 2000ක් පමණද මෙම කොට්ඨාශයේ කළු ගඟ වම් ඉවුර යටතේ පහසුකම් ලබාදී පදිංචි කරන ලදී.

ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙහෙය වු නියමුවෝ...

ප්‍රාදේශීය ආදායම් පාලන නිලධාරි

නම සිට දක්වා
මන්ත්‍රීපාල රාජකරුණා මහතා 1968 1970
දයානන්ද දිසානායක මහතා 1970 1971
යු. සුගතදාස මහතා 1971 1972

සහකාර ආණ්ඩුවේ ඒජන්ත

නම සිට දක්වා
ඒ.ජී. අතුරුගිරිය මහතා 1972 1976
වී.ඩී.එස්. ගුණවර්ධන මහතා 1977 1979
යු.ඩී. යාපා මහතා 1979 1980
ආර්.එම්.එල්. රත්නායක මහතා 1981 1982
කේ. සෙනවිරත්න මහතා 1983 1985
කේ.එස්. සෝමරත්න මහතා 1985 1986
ආර්.එම්. චන්ද්‍රසේකර මහතා 1987 1989
ඒ.එන්.ද. සොයිසා මහතා 1990 1992

ප්‍රාදේශීය ලේකම්

නම සිට දක්වා
ආර්.කේ.බී. සමරදිවාකර මහතා 1992 1992
සමන් තිගකරත්න මහතා 1993 1995
එන්.බී. උඩගෙදර මහතා 1995 1995
එම්.එම්.ගාමිණී සෙනවිරත්න මහතා 1995 1997
එච්.එම්. සෝමතිලක මහතා 1998 1998
ලලිත් දොඩන්ගොඩ මහතා 1998 1998
පී.ඩී. නිමලසේන මහතා 1998 2002
එස්.එම්.පී.එස්. ධර්මසේකර මහතා 2002 2006
පී.එච්.එම්.ඒ. ප්‍රේමසිංහ මහතා 2006 2010
පී.ඒ. සරච්චන්ද්‍ර මහතා 2011 2014
නිරෝෂණ කරුණාතිලක මහතා 2014 2017
එස්.ඩී.පී. ජයසූරිය මහතා 2017 2020
එස්. විජේකුමාර් මහතා 2020 2024
ස්වර්ණා පෙරේරා මහත්මිය 2024 2025
ඒ.ජී.එස්.එල්. තෙන්නකෝන් මහතා 2025  
Scroll To Top